සාර්ථක ගෘහ පාලනයකට ටිප්ස් 6ක්

අතීත ගෘහණියගේ ප්‍රධාන කාර්යය ගෘහ පාලනය කිව්වොත් නිවැරදියි. ඒත් අද තියෙන ආර්ථික රටාවත් එක්ක පවුලේ සැමියා විතරක් රැකියාවට ගිහින් මදි. මේ නිසා බොහෝ පවුල් වල බිරිඳත් රැකියාවට යනවා. ඉතින් සාර්ථකව ගෘහ පාලනය කිරීමට නම් පවුලේ හැමෝගෙම උදව්ව අවශ්‍ය වෙනවා. බිරිඳ, සැමියා සහ දරුවන් හැම දෙනාම එකතු වෙලා තමන්ගේ නිවස සුන්දරව තබා ගැනීමට උත්සාහ කළ යුතුයි.

01.
සමහර අල්මාරි වල දොර ඇරපු ගමන් රෙදි දිය ඇල්ලක් වගේ කඩාගෙන වැටෙනවා. තවත් සමහර ගෙවල් වල අවශ්‍ය ඇඳුම අල්මාරියෙන් හොයා ගන්න පැයක් විතර යනවා. මේක එතරම් හොඳ ලක්ෂණයක් නෙවෙයි. ඔබේ රෙදි අල්මාරියේ තියෙන රෙදි පිළිවෙලකට නවන්න. තට්ටුවෙන් තට්ටුව පිළිවෙලකට රෙදි අසුරන්න. ගෙදරට අඳින රෙදි හා ගමන් අඳින රෙදි වෙන වෙනම අසුරන්න. යට ඇඳුම් වෙනම ස්ථානයක තබන්න. පවුලේ එක් එක් සාමාජිකයන්ගේ රෙදි වෙන වෙනම තබන්න. රෙදි සියල්ලම එක ගොඩේ අච්චාරුවක් වගේ තියෙනකොට තමයි අවශ්‍ය ඇඳුම ඒ වෙලාවේ හොයා ගන්න නොලැබෙන්නේ. ඒ වගේම තමයි, අල්මාරියේ රෙදි කාවුන් කෑමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුඩා රෙදි කවර තුලට කපුරු බෝල කීපයක් දමා, අල්මාරියේ රෙදි අතර තැම්පත් කරන්න.

02.
වාතාශ්‍රය සහ හිරු එලිය අඩුවෙන් ලැබෙන නිවසක් කියන්නේ විෂබීජ එක් රැස් වෙන තැනක්. මේ නිසා නිවසේ ජනෙල් විවෘත කර නිවස තුලට හිරු එලිය වැටෙන්නට ඉඩ සලස්වන්න. දිනපතා අපහසු නම්, ඔබ නිවසේ සිටින සති අන්තයේදී හෝ නිවසේ දොර ජනෙල් හොඳින් විවෘත කර තබන්න. දිනපතා නිවස අතු ගා, කුණු රොඩු ඉවත් කරන්න. සතියකට වතාවක් මකුණු දැල් කඩා, ගෙබිම සෝදා ගන්න.

03.
උදේ අවදි වූ විගස ඇඳ රෙදි සහ කොට්ටය ගසා, පොරෝනයන් නවා ඇඳ සකස් කරන්න. රාත්‍රියේ නින්දේදී ඇඳ රෙදි අවුල් වීම සාමානය දෙයක්. එය ඒ විදිහටම ඊළඟ දවසේ රෑ වෙනකම් තියාගෙන ඉන්න නිවෙස් තියෙනවා. එය එතරම් හොඳ පුරුද්දක් නම් නෙවෙයි. ඔබේ දරුවන්ටත් ඔවුන් නිදා ගත් ඇඳ අස් කිරීමට උපදෙස් දෙන්න. ඇඳ රෙදි සහ කොට්ටා උර නිතර සෝදා ගන්න. නැතිනම් ඒවා භාවිතා කරන්නන් විවිධ දිලීර අසාදන වලට ලක් වීමේ අවදානම පවතිනවා. සති අන්තයේදී කොට්ටා සහ මෙට්ට අවුවේ දමා වේලා ගන්න.

04.
මාසෙකට වතාවක් නිවස සෝදා, නිවසේ බඩු තිබෙන පිළිවෙල වෙනස් කරන්න. හැමදාම එකම විදිහට නිවසේ බඩු තියෙනකොට පවුලේ හැමෝටම දැනෙන්නේ ඒකාකාරී ස්වභාවයක්. මේ ඒකාකාරී බව නැති කරන්න බඩු තිබෙන පිළිවෙල වරින් වර වෙනස් කිරීම මඟින් පුළුවන්. නිවසේ ඇති ගෘහ භාණ්ඩත් පිරිසිඳු කර ගන්න. පාපිසි සහ කැටයම් කැපූ ගෘහ භාණ්ඩ පිරිසිඳු කිරීම බොහෝ දෙනෙකුට අමතක වෙනවා. පාපිසි කියන්නේ කුණු, දුවිලි සහ විෂබීජ විශාල වශයෙන් එක් රැස් වූ තැනක්. ඒවා සේදිය යුත්තේ ඩෙටෝල් වැනි විෂබීජහරණයක් යොදාගෙනයි. ඒවා හොඳින් අව්වේ වේලා ගැනීමත් කළ යුතුමයි. කැටයම් කපා ඇති ගෘහ භාණ්ඩ වල කැටයම් කැපූ ස්ථාන වල දුවිලි එක් රැස් වෙනවා. ගෘහ භාණ්ඩ පිස දැමීමේදී කැටයම් කැපූ ස්ථාන වෙනම පවිත්‍ර කරන්න.

05.
ගොඩ ගැසුණු වලං සහ පිඟන් කෝප්ප දවස අවසානයේ සේදීමට සිදු වීම හරිම වෙහෙසකර කටයුත්තක්. මේ නිසා ආහාර ගෙන අවසන් වූ විගස ඒවා සෝදා දමන්න. තමන් කාපු පිඟාන සහ කෝප්පය සේදීමට දරුවන්ව හුරු කරවීම හොඳ මවකගේ ලක්ෂණයක්. මේවා සේදීමට රෑ වෙන තුරු සිටීමෙන් ඒවායේ විෂබීජ වර්ධනය වෙනවා. එමෙන්ම ඒවායේ කහට පැල්ලම් සහ තෙල් පැල්ලම් යැවීමට වැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වෙනවා.

06.
විවේකි අවස්ථාවන් වල මිදුලේ මල් වවන්න. මල් පිරුණු ගෙවත්තක් නිවැසියන්ගේ සිත් සතුටු කරවනවා. හැකි නම් මාළු ටැංකියක් මිලදී ගන්න. මාළුන්ගේ හැසිරීම දෙස බලා සිටීමේදී මානසික ආතතිය පහ වෙන බව කියවෙනවා. එය පවුලේ සියලු දෙනාටම උදව්වක් වේවි. මල් පැල වලට අමතරව කෑම පිසීම සඳහා අවශ්‍ය පලා වර්ග සහ එළවළුවක් නිවසේදීම වවා ගත හැකි නම් ගොඩාක් හොඳයි. කරපිංචා ඉත්තත් කඩෙන් මිලදී ගැනීමට පුරුදු වෙනවාට වඩා, නිවසේදීම කුඩා පැලයක් වවා ගැනීමට හැකි නම් ගොඩක් වටිනවා. නමුත් මේ සඳහා මිදුලේ ඉඩ කඩ අඩු වීම බාධාවක් වෙන අවස්ථා තිබෙනවා. කෙසේ වෙතත් අඩු ඉඩක් සහිත මිදුලක වුවද කරපිංචා පැලයක් හා පලා වර්ගයක් වවා ගන්න හැකියි.

ඔබගේ ප්‍රතිචාරය පහතින් දක්වන්න